යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප‍්‍රදර්ශනය ඇරඹේ

නව වැනි වරටත් සංවිධානය කරන යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව අද යාපනය මහජන පුස්තකාලයේදී පැවැත්වින.

ඇමති දයා ගමගේ, රාජ්‍ය ඇමතිනී ශෂිකලා මහේෂ්වරන්, උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන්, රාජ්‍ය නිලධාරීන් සහ ඉන්දීය රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

මෙම වෙළෙඳ ප‍්‍රදර්ශනය යාපනය මහජන කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙයි.

එහි සමාරම්භක අවස්ථාව අමතමින් ඇමති ගමගේ කියා සිටියේ, උතුරේ ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරිකයින්ට මෙම ප‍්‍රදර්ශනය මහගු අවස්ථාවක් වන බවයි.

ඉන්දීය ව්‍යවසායකයින් 70 දෙනෙකු ද ඊට සහභාගී වන බව පෙන්වා දුන් ඔහු, ඔවුන්ගේ නිෂ්පාදන දැකබලා ගැනීමෙන් උතුරේද එම නිෂ්පාදන සිදු කිරීම සම්බන්ධයෙන් අදහසක් ලබා ගත හැකි බව පෙන්වා දුන්නේය.

ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය හා ආයෝජන ඉන්දීය ව්‍යවසායකයින්ගෙන් ලබා ගැනීමට කටයුතු යෙදිය හැකි බව ද හෙතෙම කීය.

උතුරේ ජනතාව ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට ගන්නා උත්සාහය අගය කළ ඇමතිවරයා, යාපනය ද ඇතුළුව පළාතේ දිස්ති‍්‍රක්ක පහේම සංවර්ධනය වෙනුවෙන් තම ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සැලසුම් රැසක් සකස් කර ඇති බව පැවසීය.

ඊට රජයේ මැදිහත්වීම පමණක් නොව, රාජ්‍ය සේවක යාන්ත‍්‍රණයෙහි සහාය ද ඇතිව ඊට පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගත යුතු බව ඔහු අවධාරණය කර සිටියේය.

ටීඊජේසී අඹ පැල ලක්ෂ 50ක් බෙදා දීම, කුරුඳු, ගම්මිරිස් හා කහ වැනි කුළුබඩු නිෂ්පාදන වෙනුවෙන් වෙළෙඳපොලක් ලබා දීම සහ ධීවර කර්මාන්තය දියුණුවට සහාය වීම ඊට ඇතුලත් වන බව ගමගේ මහතා කීය.

තවදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසූයේ, ඉන්දියාවේ ජනගහනයෙන් සෑම 1,000 දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙකු සිටියදී, ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් පහෙන් එකක් වීම නිසා දැඩි බරක් දැරීමට රජයට සිදුව ඇති බවයි.

ඊට පසුගිය රජය සමයේ බඳවාගත් සේවක සේවිකාවන් ලක්ෂ 10ක් ද ඇතුලත් වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඉන්දියාවට නිදහස ලැබෙද්දී එරට බෙදී වෙන්ව ගියද, ශී‍්‍ර ලංකාව එක් රටක් වශයෙන් නිදහස ලබා ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *