මේක දැනෙන්නෙ කොහොමද? – Nis Man Ranasinghe

අපි හාමුදුරුවරු ළඟටනම් මොනවහරි ළඟට ගිහිං ප්‍රදානය කරන වෙලාවල් තියෙනවා.එහෙම නැත්නම් වේදිකාවට පුටුවක් ගෙනල්ල සුදු රෙදි එලලා වාඩි කරවල දෙනවා.
මෙතන…..
ඇවිදින්න බැරි එකා රෝද පුටුවෙන් බස්සලා ළඟට බඩ ගා ගෙන එනවා.එන්න එපා කියලා එතනට යන්න තිබුණා දැනෙනවනම් හිතට.ඔහුට රෝද පුටුවෙන් බහින්න යන වෙලාව,සාමාන්‍ය මිනිහෙක් වගේ වේගෙන් මෙතනට ළඟාවෙන්න බැරිකම යන කරුණු ගත්තම ඔහුට එතනට යන්න හොදටම වෙලාව තියෙනවා….

 
ඒත් එහෙම දැනෙන් නැහැ.ඒ තමයි මේ රටේ මිනිස්සුන්ගෙ ඔළුවෙ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය.නායකය නායකයෙක් වෙන්නෙ කාගෙවත් බැරිකමකදිවත් නැමෙන් නැතුව කොන්ද කෙළින් කරන් ඉන්නව කියන එකට.
මේක කාලයක් තිස්සෙ ඔළුව ඇතුලෙ හැදුණු දෙයක්.යකෙක් වගෙ එකෙක් වෙන්න ඕනි නායකයා.වැඩවලට වඩා හැඩෙයි වැදගත්.හැඩේ මිස වැඩේ පෞරශ්‍යය හැටියට ගන්නෙ නැහැ.මුදාහරින චණ්ඩ ස්වභාවයන් සියල්ල නායකත්වයේ ලක්ෂණ විදිහට භාරගන්න සූදානම් විශාල පිරිසක් ඉන්න සමාජයක අපි ඉන්නෙ.
නිලතලයක් වුණත් එහෙමයි.ඒකෙන් රැස් විහිදෙන්න ඕනි.එහෙම නැත්නම් කරේ නෙමෙයි හිස මුදුණටම නඟිනවා.සමහරු දන්නවා පොඩි රැස්වළල්ලක් හදාගත්තම ඒක තොරණක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා.හුඟත් තීරණ තීන්දු ගන්න තැන්වල ඉන්නෙ එළිය හොයන මිනිස්සු මිස ජෙනරේටයට පළමු තැන දෙන අය නෙමෙයි.හදන අය නෙමෙයි අලුත් සිතුවිලි නෙමෙයි වැදගත්.දන්න දේවල් ටික ගිරා පෝතක ස්වභාවයෙන් එළයට දාන පිරිස්.හදන එකාට වඩා බෙදන එකා වැදගත්.රකින්න හදන්නෙ බෙදන එකා.හැබැයි හදන අය ඉන්නෙ පොඩ්ඩයි.
මේව තේරෙන්නෙ බෙදන්න දෙයක් නැති වුණාම.එතකොට හදන්න එකෙක් හොයාගන්න අමාරු වෙයි.
සිස්ටම් එක දුවන්නෙ මෙහෙම.


රජවරුන්ට ආස රාජ නීතිය යටතෙ වහල් මනසින් ජීවත්වෙන්න හොයන මිනිස්සු.හොයනවා වෙනුවට කරන්නෙ අහනවා.අහන දේ කියනවා.
මට මතක් වෙන්නෙ හැන්ඩි රාජරත්නම් 1930 දී කියන කතාව.යාපනේ තරුණයන්ට ඔහු දිවි හිමියෙ සටන් කරන්න ආරාධනා කරන්නෙ ‘ලංකාව නැමති ස්ව රාජ්‍යය රැක ගන්න’අන්තිමට වාමාංශික ව්‍යාපාරයන් පවා අසමත් වෙනව මේක ලංකාව කරන්න.සිංහල,දෙමළ,මුස්ලිම් කියන සිල්ලර ග්‍රෝත්‍රික බෙදීම් එක්ක ආගම්වාද එක්ක ලංකාවේ දේශපාලන මාර්කට් එකේ සැබෑ දේශහිතෛශීභාවය ජාතිවාදි වෙනවා.

 
ජවිපෙ අරගල දෙක තුළම උතුර සම්බන්ධ කරගන්නෙ නැහැ.සමහර විට ඔවුන් දකුණේ බලය තහවුරු කරගෙන උතුර සිංහල බෞද්ධ ආධිපත්‍යයට යටත් කරන්න හිතාගත්තද දන්නෙ නැහැ.

 
කොහොම හරි හැන්ඩි දැකපු ස්වරාජ්‍ය උතුර පමණක් වී වසර තිහක යුද්ධයකින් එය දිනා ගැනීමේ සටනක් දක්වා උතුරේ දේශහිතෛශීත්වය දකුණ විසින් මෙහෙයවනු ලැබුවා.මේ ඇත්ත අදවත් පිලිගන්න ලංකාවෙ වමට ශක්තිය නැහැ.හැන්ඩි හිටපු සම සමාජයෙ කෑල්ලක් සම්පූර්ණයෙන්ම වගේ ජාතිවාදී ආගම්වාදී ව්‍යහුයක ඉදන් ඒක පෝෂණය කරනවා.

 
මේ රෝද පුටුව ළඟට යන්න බැරි ඔළු නායක ඔළු වෙන්නෙ මේ ආරක්ෂා කරගෙන එන නායකයා සහ ජනතාව අතර ඇති දුරස්තභාවය සහිත සංස්කෘතියෙන්.ජනතාව බයාදු ලෙස නායකයාට අවනත විය යුතුය විකාරයත් එක්ක තමයි අපි ඉන්නෙ.

 
එහෙම ඉන්න කොට අපට පේන ලොකුම හීනය අපි රටක් හැටියට ලෝකයෙ අනිත් රටවලට වඩා ඉස්සරහ ඉන්නවා කියන එක.ඔවුන්ව අල්ලෙ නටවන්න පුළුවන් හයියක් අපට තියෙනවා කියලා හිතෙන එක.ඒ නිසා යම යම් සීමාවන් එක්ක අපි අපේ රට වෙනුවෙන් ඔවුන් එක්ක එකඟ වෙන තත්ත්වයක අපි දැඩි විරෝධයක් පාමින් වැඩ කරන්නෙ එතැන ඉදලා…

 
ලෝකය මනුස්සකම්වලින් දියුණුයි.අපිට අපේ රට ඇතුලෙ ඉන්න ජාතීන් තුන නියෝජනය කරන මිනිස්සු එකා වගේ හිතන රටක් කරන්න බැහැ.ඔවුන් අතර ආදරණීය ප්‍රේමණීය සම්බන්ධයක් හදන්න බැහැ.ඒත් ලෝකයෙ අපි නොදියුණුයි හිතන පිළිගත් සියලු දර්ශකවලදි දියුණුවෙන් අපට වඩා ඉස්සරහ තියෙන රටවල් මානව සබඳතා ගැන වෙනම විදිහකට හිතන්න පටන් අරගෙන.බෙදීම් අඩු කරගෙන බැදීම් වැඩි කරන සියල්ල සමානයි කියන තැනට අරගෙන.

 
අද සංක්‍රාන්ත්‍රි විවාහ පමණක් නොව සෘජුව සමලිංගික විවාහ පවා පිළිගන්න තරමට මනුස්ස සමාජයේ බැදීම් තහවුරු කරන්න දියුණු ලෝකය සූදානම් වෙද්දි අපි තවමත් ඉන්නෙ වෙනත් ජාතියක ආගමක නොවේ කුලයක කෙනෙක් සමඟ වන සම්බන්ධයක් පවා මාරාන්තික වැරද්දක් විදිහට දකින තැනෙක.පාලකයා සහ පුරවැසියා කියන්නෙත් දුරස්ත නොවන නිරන්තර සංවාදයක නියැලෙන්න පුළුවන් තැනෙකට අරගෙන මිත්‍රශීලී සම්බන්ධයක් දක්වා ඔසවා තැබිය යුතු සම්බන්ධයකට.ඒත් මේ සම්ප්‍රදාය තුළ එහෙම හිතන නායකයා බයාදු කරන ප්‍රතික්ෂේප කරන කොන්දක් නැහැ කියලා හිතන ක්‍රමයක් මිස මිත්‍රශීලීත්වය සහ සුහදතාවය ලෙස සිතන මිනිස්සු අඩුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *