ශ්‍රී ලංකා භික්ෂූ සමාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදත්වය – සුනිල් ජයසේකර

නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් අස්ගිරි හා මල්වතු පාර්ශවයන්හි කාරක සංඝ සභාව විසින් නිකුත් කරන ලදැයි කියන නිවේදනය ලත් තැනම අභියෝගයට ලක්විය. ඒ තුළ අන්තර්ගතව ඇත්තේ මල්වතු හා අස්ගිරි සංඝ සභාවන්හි නිල මතය නොව, එකී සංඝ සභාවන්ට අයත් ස්වාමීන් වහන්සේලා කිහිප නමකගේ අදහස් බව මේ වනවිට පැහැදිළි වී තිබේ. දැන් කෝට්ටේ පාර්ශවයේ සංඝ සභාව ද ඒ පිළිබඳව දක්වන අදහස් ඊට දෙවැනි නොවේ. මක්නිසාද යත් ඕනෑම ආගමික සංස්ථාවකට අදාළ යම් පාර්ශවයක ස්ථාවරය යනු ඒ පිළිබඳව ඉදිරිපත් කෙරෙන විධිමත් ලේඛනයක් තුළ පැහැදිළි කළයුතු විනා පූජ්‍ය පක්ෂයට අයත් සාමාජිකයන් කිහිපදෙනෙකුගේ හෝ පූජකයන් කිහිප දෙනෙකුගේ මතය පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නොවන නිසාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නීතියයි. එමෙන්ම රාජ්‍යයක මූලික ස්වභාවය තීන්දු කරන ලියවිල්ලයි. රටක පුරවැසියාගේ අයිතිවාසිකම් තහවුරු කරන නෛතික ලේඛනයයි. ඒ අනුව මහා සංඝරත්නය හෝ වේවා වෙනත් සමාජ බලපෑම් කණ්ඩායමක් හෝ වේවා අප රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යය නැතැයි යනුවෙන් ප්‍රකාශ කිරීම සළකා බැලිය යුතුව ඇත්තේ ඉතා බැරෑරුම් ලෙසටය. මේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් පමණක් නොව දැනුවත් සමාජය ද මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි කාරක සංඝ සභාව නිකුත් කළේ යැයි කියන එම තීරණය මෙන්ම කෝට්ටේ සංඝ සභාවේ තීරණය පිළිබඳව ද ගැඹුරින් සළකා බැලිය යුතුව ඇත්තේ ඒ නිසාය.

සියම් මහා නිකායට අයත් මල්වතු හා අස්ගිරිය යන උභය පාර්ශවයන් මෙන්ම කෝට්ටේ සංඝ සභාව ද මේ රටේ සංඝ සමාජය නියෝජනය කරන ගරු කටයුතු ශාසන භාරධාරී ආයතනයන් ය. එමෙන්ම දීර්ඝ ඉතිහාසයක් ද සහිත ශාසන සම්ප්‍රදායක් අනුගමනය කරනු ලබන ආයතන දෙකක් ලෙසට ද ඒවා හඳුන්වා දියහැකිය. ඒ තුළ එකී එක් එක් නිකායන් කෙරෙහි බෞද්ධ සමාජය පමණක් නොව මු`එමහත් රටවැසියන්ගේ ද ගෞරවය හිමිවන බව ද අවිවාදිතය. ඒ අනුව එකී භික්ෂු සමාජයේ නායකත්ව මට්ටමෙන් පළකරන කෙබඳු අදහස් දැක්වීමක් වුවද එය සමාජය කෙරෙහි යම් සුවිශේෂි බලපෑමක් ඇතිකළ හැකි බවද පිළිගත යුතු සත්‍යයකි.

ඒ සමගම මතුවන අනෙක් ප්‍රශ්නය වන්නේ අප රටේ අද බලාත්මකව පවත්නා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව මෙන්ම ඊට පෙර බලාත්මකව පැවති 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව ද 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව ද මේ රටේ සංඝ සමාජය දක්වා ඇති මැදිහත්වීම, ආකල්ප කෙබඳුවී ඇත්ද යන්නය.

අප බොහෝ දෙනෙක් දන්නා පරිදි මේ රටේ භාෂා ශාස්ත්‍ර ඉතිහාසය, පුරාවිද්‍යාව, අධ්‍යාපනවේදය ද ඇතුළු බොහෝ විෂය ක්ෂේත්‍රයන්ට අදාළව මේ රටේ පැවිදි පඬිවරුන් අතිවිශාල සංඛ්‍යාවක් රටට දායාද වී ඇතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට අදාළව කිසිදු භික්ෂූන් වහන්සේ නමක් හෝ අප රට තුළ දක්නට නොහැකිවීම විශේෂ තත්වයකි. අඩුම තරමින් රටේ ව්‍යවහාර නීතිය පිළිබඳව හෝ ගැඹුරින් හදාරා ඇති භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳවවත් එහිදී අසන්නට ලැබෙන්නේ නැත. ඒ සඳහා හේතුවක් ද තිබේ. එනම් මේ රටේ වෘත්තීය අධ්‍යාපනයට අදාළව මෙන්ම උසස් අධ්‍යාපනයට අදාළව ද සළකා බැලීමේදී බොහෝ විෂය ක්ෂේත්‍රයන් භික්ෂු සමාජයට විවෘත වී ඇතත් නීතිය, බටහිර වෛද්‍ය විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රයන්ට අදාළව එවැනි විවෘත වීමක් දක්නට නොලැබේ. ශ්‍රී ලංකාවේ තබා ලෝකයේ කිසිදු වෛද්‍ය විද්‍යාලයක හෝ නීති විද්‍යාලයක බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් දක්නට නොලැබෙන්නේ ඒ නිසාය.

ඒ අනුව මේ රටේ ආණ්ඩුක්‍රම නීතියට අදාළව භික්ෂූන් වහන්සේ නමක් ගැඹුරු හැදෑරීමක් හෝ තියුණු විශ්ලේෂණයක් සිදුකර ඇති සෙයක් දක්නට නොලැබේ. ඒ හේතුව නිසාම භික්ෂූන් වහන්සේලා වෙත පවත්නා ගෞරවයට ද කිසිදු හානියක් සිදුවී නැති බව ද ඉතා පැහැදිළිය. මක්නිසාද යත් එය අප උන්වහන්සේලාගෙන් අපේක්ෂා කරන සමාජ හෝ ආගමික වගකීමක් නොවන නිසාය.

එහෙත් මේ රටේ නීති ක්ෂේත්‍රය ද ඇතුළත් දේශපාලන ක්ෂේත්‍රයට අදාළව සිදුකර ඇති ගැඹුරු විශ්ලේෂණ හා පර්යේෂණ ගණනාවක් දක්නට තිබේ. ඒ සියල්ලම සිදුකර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳව විශාරදත්වයක් සහිත දේශීය හා විදේශීය ගිහි ප්‍රජාව විසිනි. එහිදී ඔවුන්ගේ අවධානයට ලක්ව ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක් නොවේ. 1972 හා 1947 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට අදාළව සිදුකරන ලද තියුණු විශ්ලේෂණ බොහොමයක් ඒ අතර පවතී. එහි ඇති එක් සුවිශේෂි තත්වයක් වන්නේ මෙකී ව්‍යවස්ථා ත්‍රිත්වය පිළිබඳවම ඒ බොහෝ දෙනෙකු යහපත් ආකල්පයක් නොදැක්වීමය. ආචාර්ය එන්.එම් පෙරේරා ද ඇතුළු ව්‍යවස්ථා නීතිය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් කටයුතු කළ මේ රටේ වාමාංශික ව්‍යාපාරයේ නායකයින් ගණනාවක් ද පසුකලෙක මේ රටේ දේශපාලන බලය අපේක්ෂා කළ සියලුම දේශපාලන පක්ෂ නායකයින් ද ඇතුළු බොහෝ දෙනෙක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තියුණු විවේචනයක් ඉදිරිපත් කර තිබේ. ඒ සියල්ලන්ගේම පොදු මතය වී ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් නිර්මාණය වීමේ විභවයක් පවතින බවය. ඒ තුළ මහජන නියෝජිතයන් ද ඇතුළත් ව්‍යවස්ථාදායකය රූකඩයක් බවට පත්වන බවය. රටේ නීතියට ඉහළින් වැජඹෙන සර්ව බලධාරී ජනාධිපතිධුරයක් නිර්මාණය වන බවය. මහජනතාවගේ අයිතිවාසිකම් සීමාවට ලක්වන බවය.

එවැනි ව්‍යවස්ථාවක් වෙනස් කරමින් රටට ගැලපෙන සියලු ජාතීන්ගේ හා ආගමිකයන්ගේ ගෞරවයට හේතුවන රටේ ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාවය සුරැකෙන නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මේ රටේ කතාබහට ලක්වුණේ බොහෝ කාලයක සිටය. එහෙත් ඒ කිසිදු සංවාදයක් තුළ අස්ගිරියේ හෝ මල්වතු පාර්ශවයේ මෙන්ම අන් ඕනෑම නිකායක හෝ පාර්ශවයක භික්ෂූන් වහන්සේලා පෙනී සිටි තත්වයක් අසන්නට නොලැබුණි. විශේෂයෙන්ම අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 18 වන ව්‍යවස්ථා සංශෝධනය එක්කරමින් මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ කිසිදු රටක දක්නට නැති ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් තහවුරු කළ අවස්ථාවේ මේ කිසිදු භික්ෂු සංවිධානයක් වචනයකින් හෝ විරෝධය පළකළ බවක් අපට මතක නැත. ඒ අනුව උන්වහන්සේලාගේ මෙකී ප්‍රවේශය ගැඹුරු අධ්‍යයනයකින් හෝ අවබෝධයකින් යුතුව සිදුකර ඇති දේකට වඩා හැඟීම් බර සිතුවිලි තුළ මතු වූ ඉදිරිපත්වීමක් ලෙස සැලකිය හැකිය. එය එසේ නොවන්නේ නම් ඒ බව පැහැදිළි කළයුත්තේ ද උන්වහන්සේලාම ය. එනම් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තියුණු විශ්ලේෂණයක් තුළ තම මතය ඉදිරිපත් කිරීමය. එවන් පසුබිමක මේ රටේ භික්ෂු සමාජය අතරින් ඉදිරිපත් වූ අදහසක් වුවද එම අදහස් අප සැලකිය යුත්තේ වගකීමකින් භාරගත යුතු නැති භික්ෂූන් වහන්සේලා කිහිප නමකගේ පුද්ගලික අදහස් ලෙසට ය.

සුනිල් ජයසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *