ලලිත් – අනූෂ ගාලූ මුවදොර පිටියේ ප‍්‍රදර්ශනය කළ යුතුය

මහජන මුදල් අයථා පරිහරණය සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරුවන් කොට දඬුවම් නියම කරන ලද ලිලිත් වීරතුංග (හිටපු ජනාධිපති ලේකම්) සහ අනූෂ පැල්පිට (විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති) නිර්දෝෂී රාජ්‍ය නිලධාරීන් බවට අදහසක් යම් යම් පාර්ශ්වයන් විසින් සමාජගත කරමින් තිබෙනු දැකිය හැකිය. ඔවුන් සිදුකොට ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ නියෝග ක‍්‍රියාත්මක කිරීම බවත්, එය රාජ්‍ය නිලධාරීන් වශයෙන් ඔවුන්ගේ වගකීම බවත් පෙන්වා දෙන එම පාර්ශ්ව මතු කරන තර්කය වන්නේ රාජ්‍ය නිලධාරියෙකු සිය වගකීම ඉටු කිරීම වරදක් නොවන බවය.
රාජ්‍ය නිලධාරියෙකුගේ වගකීම දේශපාලන අධිකාරියේ සකළ විධ නියෝග ලැබෙන ආකාරයෙන්ම ඉටු කිරීම යැයි යමෙක් සිතන්නේ නම් ඒ අනුව ඒ පුද්ගලයාට අදාළව එම තර්කය සාදාරණ විය හැකිය. එහෙත් සැළකීම නිවැරදිද?
රාජ්‍ය නිලධාරියෙකුගේ කාර්ය භාරය කවරක්දැයි විමසා බැලීමෙන් ඒ පිළිබඳ පුරවැසියන්ට යම් අවබෝධයක් ලබා ගත හැකිය. ඒ සඳහා මුලින්ම රාජ්‍ය සහ ආණ්ඩුව යන දෙකෙහි වෙනස අවබෝධ කර ගත යුතුය.
රාජ්‍ය යනු සංවිධිතව ස්ථාපිත ආයතන පද්ධතියකින් සමන්විත යාන්ත‍්‍රණයකි. එය අනවරතයෙන් පූර්ව නිශ්චිත ක‍්‍රමවේදයක් අනුව ක‍්‍රියාත්මකව පවතී. රාජ්‍ය නිලධාරින් යනු එම යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කරවන්නන්ය. රාජ්‍ය යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කරවිය යුතු ආකාරය විවිධ අණපනත් රෙගුලාසි සහ පැනවීම් මගින් නිශ්චිත කොට, සම්මත කොට දක්වා ඇත. රාජ්‍ය නිලධාරින් කටයුතු කළ යුත්තේ ඒ අනුවය. කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට තමරිසි ආකාරයට රාජ්‍ය යාන්ත‍්‍රණය හැසිර විය නොහැකිය.
ආණ්ඩුව යනු රාජ්‍යයක ප‍්‍රතිපත්ති තීරණය කිරීම සඳහා තාවකාලිකව ස්ථාපිත කරගන්නා ආයතනයකි. එහි ව්‍යුහය රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස්ය. ධුරාවලින්ද එකිනෙකට වෙනස්ය. අප රටේ ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ආණ්ඩුව නියෝජනය කරයි. මහජනයා විසින් ඒවාට කලින් කලට විවිධ පුද්ගලයන් පත් කරනු ලබයි. මහජනයාගේ වැඩි මනාපයක් සහිත ඕනෑම පුද්ගලයෙකුට ආණ්ඩුවට පත්විය හැකිය. ආණ්ඩුවේ ක‍්‍රියාකාරිත්වය එලෙස පත්වන පුද්ගලයන් මත රඳාපවතී. එම පුද්ගලයන්ට තමරිසි ලෙස ආණ්ඩුව හැසිරවිය හැකිය. ආණ්ඩුවක් කටයුතු කළ යුතු ආකාරය පෙර නිශ්චිත එකක් නොවේ.
රාජ්‍ය නිලධාරින් ආණ්ඩුවේ කටයුතුවලට සහාය දැක්විය යුතු බව සැබෑය. එහෙත් ඔවුන්ට එසේ කළ හැක්කේ පෙර නිශ්චිත හෝ තත්කාලීන අණපනත් රෙගුලාසි මගින් සම්මත කරගෙන ඇති ආකාරයට පමණකි. එයින් පිටත යමක් කරන ලෙස දේශපාලන අධිකාරියෙන් නියෝගයක් ලැබුණ හොත් රාජ්‍ය නිලධාරියා කළ යුත්තේ අදාළ අණ පනත් නීති රෙගුලාසි ආදිය පෙන්වා දෙමින් එම කටයුත්ත කළ නොහැක්කක් බව දේශපාලන අධිකාරියට පැහැදිලි කළ දීමය. ශීලාචාර දේශපාලනයක් පවතින රාජ්‍යයක නම් එහිදී දේශපාලන අධිකාරිය තම නියෝගය ආපසු කැඳවා ගනී.
එහෙත් ශ‍්‍රී ලංකාව වැනි අශීලාචාර, කුපාඩි දේශපාලන සංස්කෘතියක් පවතින රටවල එවැනි තත්ත්වයන් දක්නට නොවේ. සිදුවන්නේ ‘කෙසේ හෝ කරන ලෙස’ නිලධාරින්ට බලපෑම් කිරීමය. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් රාජ්‍ය නිලධාරියෙකු කළ යුත්තේ කුමක්ද? කළ හැක්කේ කුමක්ද? සිය බලය ක‍්‍රියාත්මක කොට දේශපාලන අධිකාරියේ නියෝගය ප‍්‍රතික්ශේප කළ හැකිය. මාස කිහිපයකට පෙර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එවක සිටි ලේකම්වරයා දේශපාලන බල අධිකාරිය වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවක් ප‍්‍රතික්ශේප කළ ආකාරය නිදසුනක් ලෙස දැක්විය හැකිය. පසුව ඔහුට ලේකම් ධුරය අහිමිවීම වෙනම කාරණයකි.
එසේ ප‍්‍රතික්ශේප කළ විට තමන්ට රැුකියාව කරගෙන යාමට නොහැකි වාතාවරණයක් සැකසෙන්නේ නම් ටයි කෝට් ගලවා ඉල්ලා අස්වීමේ ලිපියක්ද සම`ගින් අදාළ බලධාරින්ට බාරදී ගෞරවනීය ලෙස සේවයෙන් ඉවත්විය හැකිය. එලෙස ගෙදර ගිය ගෞරවනීය රාජ්‍ය නිලධාරින්ද රටේ නැතිවා නොවේ. ‘2015 ජනවාරි 8’ වෙනසට පුරවැසියෝ පෙළ ගැසෙමින් සිටින අවස්ථාවක ගාල්ල දිසාවේ පොලිස් ස්ථානාධිපතිවරයෙක්ද, 2010 මැතිවරණ සමයේ කුරුණෑගල පොලිසියේ හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද මෑත අතීතයේ එලෙස කළ නිලධාරින් දෙදෙනෙකි. සීමිත වුවද ශක්තිමත් කශේරුකා ඇති එවැනි ගරු කටයුතු රාජ්‍ය නිලධාරියෝද අපට සිහිපත් වේ.
එහෙත් රටේ බහුලව සිටින්නේ ඕනෑම දේශපාලන නියෝගයක් දණින් වැටී හිස් මුදුනෙන් පිළිගෙන ක‍්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටින ඇම්බැට්ට නිලධාරින්ය. ඔවුන් බලාගෙන සිටින්නේ එවැනි නියෝගයක් ලැබෙන තෙක්ය. එවැනි නියෝග ඉටු කරන තරමට තම රැුකියාව සුරක්ෂිතය. එපමණක් නොව වරප‍්‍රසාද, වරදාන, අමතර ලාභ ආදියද ලැබෙන බැවිනි. ඒ පෞද්ගලික අභිමතාර්ථ ඉටු වන්නේ නම් රටට හෙණ ගැහුවත් ඔවුනට කම් නැත. ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට අයත්වන්නේ ඒ ඇම්බැට්ට නිලධාරී හැත්ත බුරුත්තටය.
ලලිත් – අනූෂ දෙදෙනාම අධුනික රාජ්‍ය නිලධාරින් නොවේ. පළපුරුදු සහ දීර්ඝ සේවා කාලයකට හිමිකම් කියන නිලධාරින්ය. රාජ්‍ය නිලධාරියෙකුගේ වගකීම කවරක්දැයි ඔවුන්ට අමුතුවෙන් කියා දිය යුතු නැත. දැන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියන ආකාරයට සිල් රෙදි බෙදීමට විදුලි සංදේශ නියාමන කොමිසමෙන් මුදල් ගැනීමට නියෝග කොට ඇත්තේ ඔහුය. එය එසේ නම් එම නියෝගය ලද අවස්ථාවේ ලලිත් වීරතුංගට තිබුණේ එය නොකළ යුත්තක් බවට තම ස්වාමියාට කරුණු පැහැදිලි කරදීමය. රාජපක්ෂ ජනාධිපතිවරයා එය පිළිනොගෙන තවදුරටත් බලපෑම් කරන්නේ නම් ඔහුට තිබුණේ එම නීති විරෝධී කටයුත්තට විරෝධය පලකොට ටයි කෝට් ගලවා ඉල්ලා අස්වීමේ ලිපියද සම`ගින් ජනාධිපතිවරයාටම දී ගෙදර යාමය. ලලිත් වීරතුංග ගරුකටයුතු රාජ්‍ය නිලධාරි මහත්මයෙකු වී නම් සිදුවිය යුතුව තිබුණේ එයයි.
එහෙත් ලලිත් වීරතුංග සිදු කොට ඇත්තේ කුමක්ද? රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියෝගය නොපමාව ඉටු කරදීමට ඉදිරිපත්වීමය. එම ඉල්ලීම විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයාට යොමු කිරීමය. එවැනි නියෝගයක් ලැබුණු විට අනූෂ පැල්පිට ගරු කටයුතු මහත්මයෙකු නම් කළ යුතුව තිබුණේ ලලිත් වීරතුංගට කරුණු පැහැදිලි කර දී එය ප‍්‍රතික්ශේප කිරීමය. මන්ද ඒ වන විට මැතිවරණ කොමසාරිස්වරයා පවා මෙවැනි කටයුතු නොකළ යුතු බවට තදින්ම නියෝග කොට තිබුණු බැවිනි. ජනමාධ්‍යද, මැතිවරණ නිරීක්ෂන සංවිධානද පුන පුනා ඒ ගැන කතා කරමින් සිටි බැවිනි. ඒත් බැරිම නම් අනූෂටද නම්බුකාර විදිහට රැකියාව හැරපියා ගෙදර යාමට තිබිණ.
ඒ වන විට ශීලාචාර දේශපාලන වෙනසක් සඳහා රට පුරා පුරවැසියෝ පෙළ ගැසෙමින් සිටි බැවින් එලෙස සේවය අතැර ගෙදර ගියේ නම් මේ දෙදෙනාට අහිමි වූ රැකියාවද අන් සියල්ල ද සමග එදාටත් වඩා ගෞරවනීය පුරවැසියන් ලෙස අද සමාජයේ ජීවත්වන්ට අවස්ථාව හිමිවන්නට තිබිණ.

 

එහෙත් ගාල්ලේ පොලිස් පරීක්ෂකවරයාට තිබුණු තරමේ කශේරුකාවක් හෝ මේ දෙදෙනාට නොතිබුණු බවත් දෙදෙනාම ඉතා කැමැත්තෙන් මහින්ද රාජපක්ෂගේ දේශපාලන ඇම්බැට්ටයන් බවට පත්ව ඇති බවත් ‘සිල් රෙදි නඩුව’ රටට හෙළිකළේය.
ඇතැමුන් කියන්නාක් මෙන් ලලිත්-අනූෂ දෙදෙනා ගරුකටයුතු රාජ්‍ය සේවකයන් නොව නිවට, නියාලූ, කශේරුකාවක් හෝ විලිබියක් නැති, මජර රාජ්‍ය නිලධාරින් දෙදෙනෙකු වන්නේ එබැවිනි. අරක්කු කාලකට සහ බත් පාර්සලයකට මහින්ද රාජපක්ෂගේ වීදි නාට්‍ය සංදර්ශනවලට එක්වන, පොස්ටර් කටවුට් ගහන දේශපාලන හෙන්චයියන් සහ මෙවැනි රාජ්‍ය නිලධාරින් අතර හරයාත්මක වෙනසක් දැකිය නොහැකිය.
පුරවැසියාට සිතෙන්නේ ලලිත් – අනූෂ දෙදෙනාට අමතර දඬුවමක්ද ලැබුණේ නම් වඩාත් සුදුසු බවය. 88-89 භීෂණ යුගය ආරම්භයේ දී ජනතා විමුක්ති පෙරමුණ ගමේ ගොඬේ හොරු අල්ලා, සොරාගත් භාණ්ඩද හිස මත තබා මහ මග හන්දිවල හිටුවා ප‍්‍රදර්ශනයට තැබීමේ දඬුවම් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කළේය. දැනට නියමව ඇති දඬුවමට අමතරව ලලිත් – අනූෂ දෙදෙනාට ඒ දඬුවමද සංශෝධන සහිතව දීමට සුදුසුය. මේ දෙදෙනාගේ හිස මත තැබිය යුත්තේ ජාතික සංඝ සභාව විසින් බුද්ධ ශාසන අමාත්‍යාංශයට ගෙනවිත් බාර දෙන බව කී සිල් රෙදිය. දෙදෙනා ප‍්‍රදර්ශනයට තැබිය යුත්තේ ගාලූ මුවදොර පිටිය වටරවුමේය. සිදු කොට ඇති ක‍්‍රියාවට අනුරූපව තැබිය යුතු බැවින් දෙදෙනා තැබිය යුත්තේ ඇඳ සිටින කමිස සහ කලිසම්ද ගලවාය.
පුරවැසියාගේ සටහනට නිමිත්ත වූ පුවත් දෙකක් පහතින් දැක්වේ.
-පුරවැසියා

http://www.janawari8.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *