කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය – කවි පොත් සල්පිල මෙවරත්

2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන ‘කවි පොත් සල්පිල’, මෙවරත් 2017, සැප්තැම්බර් 15 දින සිට 24 දක්වා, ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය භූමියේ, කැටපත් පවුර අසලදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

නූතනම සිංහල කවි පොත් මෙන්ම සම්මානනීය කාව්‍ය කෘති ද, පැරණි කාව්‍ය කෘති ද ඇතුළුව කාව්‍ය විචාර කෘති ද මෙම ස්ථානයේදී ඉතා පහසුවෙන් ලබා ගත හැකි බව සංවිධායක මණ්ඩලය දන්වා සිටී. එපමණක් නොව කවි කිවිඳියක් සේ ම කවියට අදාළ විචාරකයින්, කලාකරුවන්, පාඨකයින් හමුවන තෝතැන්නක් ලෙස ද මෙම ස්ථානය වසර ගණනාවක් තිස්සේ ප්‍රචලිතය. කවි ලියන ඔබට මෙන්ම කවි රස විදින සැමට මහඟු අත්දැකීමක් වන මෙහිදී ඔබ විසින් ලියූ කාව්‍ය කෘති ප්‍රදර්ශනයට, අලෙවියට තැබීමේ පහසුකම්ද සලසා තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර 071 – 4991168 දුරකථන අංකයට පියන්කාරගේ බන්දුල ජයවීර කවියා ඇමතීමෙන් ලබා ගත හැකිය.

එමෙන්ම පසුගිය වර්ෂයේ කවිය ඇසුරු කොටගෙන මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් රචිත නිබන්ධනයක් ඇතුලත් ‘නූතන ම සිංහල කවියේ කවිතාව සහ සාරාර්ථය’ විචාර කෘතිය ද මෙහිදී ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ. කවියට ලැදි හැමට මේ සඳහා සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *